කළු කුමාර දෝෂය

 
                   

  කළු කුමාර  දෝෂය.

"කළු කුමාරයා" යන නාමය ඇසුණු තැන ඕනෑම ලාංකීය කාන්තාවකට අප්‍රසන්න බියමුසු හැඟීමක්‌ ඇතිවනු නොඅනුමාණය. එය එසේ වන්නේ කළු කුමාරයා ගැන හ‍රි හමන් අවබෝධයක් ඇති අයෙකුට පමණි. පිරිමින්ට මොහුගෙන් බලපෑමක් සිදු නොවුනද, ස්ත්‍රීන්ට නම් මොහු මහා භයානක අයකු වේ. "කළු කුමාර" යන නාමයෙන් මෙම යක්‍ෂයා ප්‍රසිද්ධ වුවද, මොහු "උඩුගම්පොළ මැණික් හාමි", "කුමාර බණ්ඩාර", "මල් මද කුමාර", "කළුදේවතා බණ්ඩාර" යන නාමයන්ගෙන්ද හඳුන්වනු ලබයි.


"කළු කුමාරයා" යනු අවේලාවේ තනිපංගලමේ සිටිනා ස්ත්‍රීන්ට බැල්ම හෙලන විණ කරන භයානක දේශීය යක්‍ෂයෙකි. පැරන්ණන්ගේ කියමන් හා ජනවහරේ එන විස්තරයන්ට අනුව තනිපංගලමේ ගොම්මන් කාලයන් වලදී නාන තොටක, ඇලක, දොළක, ලිඳක, වනයක, ගල් තලාවක, සොහොනක, පාලු ගෙදරක, මැදුරක තනිවන ස්ත්‍රීයක් පහසුවෙන් කළු කුමාරයාගේ දෘෂ්ටියට හසුවී ඔහුගේ ගොදුරක්‌ බවට පත්වේ. ඊට අමතරව යකැදුරන්ගේ මැදිහත්වීමෙන් කරනා අණවිනයකට බැඳී ස්ත්‍රියක්‌ කළු කුමාරයාගේ දෝෂයට ලක්‌ විය හැකිය. පැරැන්නන්ගේ මතයට අනුව කළු කුමාරයාගේ දෘෂ්ටියට සෑම ස්ත්‍රීයක්ම හසු නොවේ. එසේම ඔවුන් විසින් ඊට අදාළ කරුණු ද පැහැදිලි කර ඇත. ඒ අනුව ඉතා අපිරිසිදුව සිටිනා ස්ත්‍රීන්ද, රාත්‍රී සමයෙ නා පිරිසිදුවීමෙන් පසු බොහෝ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන නිදනා ස්ත්‍රීන්ද, රාත්‍රී සමයේ කන්නාඩි ඉදිරියේ බොහෝ වෙලා තමන්ගේ මුහුණ බලමින් බහුරූ කෝලම් රඟනා ස්ත්‍රීන්ද, ගොම්මන් වෙලේ තෙල් බැඳුම්, මාංශ බැඳුම් කන ස්ත්‍රීන්ද, පරපුරුෂයන්ට ලොල් වූ ස්ත්‍රීන්ද, දැඩි කාමුක හැඟීම් සහිතව පිරිමින්ට කෑදර සිතුවිලි ඇති ස්ත්‍රීන්ද, ආගම දහමින් ඈත්ව සිටිනා ස්ත්‍රීන්ද පහසුවෙන් කළු කුමාරයාගේ ගොදුරු බව‍ට පත් වේ. එමෙන්ම ඉතා ගුණයහපත් ගතිගුණ ඇති, ආගම දහමට ලැදි, දෙවියන් බුදුන් සරණ යන, දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ස්වාමියාට ගරු සරු ඇතිව, සැලකුම් කරනා ස්ත්‍රීන්ද, පිරිසිදුව සිටිනා ස්ත්‍රීන්ද කිසිවිට කළුකුමාරයාගේ දෘෂ්ටියට ගොදුරු නොවේ. කළු කුමාර දෝෂයට ගොදුරු වූ ස්ත්‍රීන් බොහෝ කරදර පීඩාවන් වලට ලක්‌වන බව කියැවේ. ඒ අතර අධික ලෙස රෝගාතුර වීම, සිරුර ඉතා දුර්වල වීම, කෙසඟ වීම, ඇස් යට කළු වීම, තම වර්ණය හිනවීම, කාලවර්ණ ගැනීම, ඉතා අපිරිසිදුව කල් ගෙවන්නට ප්‍රියවිම, අපිළිවෙලට සිටිම, දරුවන් කුසේ නොපිලිසිඳීම, හදිස්සියේ හෝ දරුවකු කුසේ පිලිසිඳුනත්, දරු කළලය කුසතුල විනාශ වීම, මළදරු උපත් සිදුවීම. අවිවාහක ස්ත්‍රීන්ට විවාහයන් සිදු කර ගැනිමට නොහැකි වීම. විවාහ දෝෂය ඇති වීම. විවාහක ස්ත්‍රියක් නම් පවුලේ නිතර දෙවෙලේ ආරවුල් ඇති කර ගැනිම, ස්වාමියාට සැමවිට අප්‍රසන්න, නොරුස්සන බිරිදකවීම වැනි දොස් ඇති වේ.


ඒවගේම උපන් කේන්ද්‍රයෙහි කළු කුමාර දෝෂයන් ඇතිව උපදිනා ස්ත්‍රීන්ද වේ. ඔවුනට කේන්ද්‍ර පරික්ෂාවන් සිදු කොට සුදුසු ආරක්ෂාවන් හා වත්පිළිවෙත් සිදු කර ගැනීමෙන් එම දෝෂයන්ගෙන් මිදී ආරක්ෂාවීමට හැකියාව ඇත. යකදුරන්ට අනුව නම් "කළු කුමාරයා" යක්‍ෂයෙකු මෙන්ම දෙවියකු ලෙසද හඳුන්වනු ලැබේ. ඒ ඒ අවස්ථාවන් අනුව ඒ ඒ නාමයන් භාවිතා කරමින් ඔවුන් විසින් කළුකුමාරයා ලවා ගුරුකම් කටයුතු කරගනු ලැබේ.


"කළු කුමාර" උත්පත්තිය ගැන බොහෝ කතා පුවත් ඇත. ඒ අනුව "වෙල්ලස්සේ බණ්ඩාර" නම් ග්‍රාම පාලකයෙකු මනුෂ්‍යයන් කෙරෙහි කළකිරි මනුස්ස වාසයෙන් වෙන්වී දිවි ගෙවීමට සිතා වනගතව කළුගඟේන් නා පිරිසිදු වී, කළුගල් තලාවක වාසස්ථානයක් සදා ගෙන සිටින තැන හදිසියේ මරණයට පත්වීමෙන් පසු කාල වර්ණ යක්‍ෂයෙකුව ඉපැද එම ගල්තලාව විමානය කොට ගෙන වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. තවත් තැනක මොහු මහා වැදි නායකයකු වශයෙන් වැදි රැහේ ඇත්තන්ට යහපත් ආදර්ශවත් පාලකයෙකුව සිට මිය ගොස් තම වර්ගයාට වන විපත් හිරිහැර වලකා ආරක්ෂාව ලබා දෙන යක්‍ෂයකුව ඉපදුනු බවත් "කළු යකා" නොහොත් "කළුකුමාර" යන නාමයෙන් එම යක්ෂයා වැදී ජනයා අතර ප්‍රසිද්ධව පුද පූජා ලැබු බවත් ඉතිහාසයේ සඳහන් වේ.


තවත් කතාවක මොහු "පළමු විමලධර්මසූරිය" රජුගේ වැඩිමහල් පුත් "රාජසූරිය අස්ථාන" කුමරු බවට ද විශ්වාසයක් පවතී. මෙම කුමාරයා මහවැලි ගඟේ ගිල්වා මරණයට පත් කිරීමෙන් පසු යකෙක් වී උපන් බවත් පසුව 

අයියනායක දෙවියන්ගේ සහ පත්තිනි මෑණියන්ගේ වරම් ලැබ දේවත්වයට පත්ව "කළු දේවතා බණ්ඩාර" යන නමින් ප්‍රසිද්ධව ජයසිරි මහා බෝ සමිඳු රකින්නට භාරවුණු බව‍ත් ඔහුගේ යක්‍ෂ අවතාරය "කළු කුමාර" යක්‍ෂයා වන බවත් පැවසේ. "කළු කම්බිලි" දේවතාවා ඇතැමුන් විසින් "කළු කුමාරයා" ලෙස ඇඳුන් වූ බවටද මතයක් ඇත. ඔහුගේ කාල වර්ණ ස්වරූපය නිසා මෙසේ පිළිගන්නට ඇති බවද කියැවේ.


කළුකුමාර උත්පත්තිය ගැන තවත් කතාවක මෙසේ දැක්වේ. උඩුගම්පොළ "සකළ කලා වල්ලභ" රජුගේ බිසෝ මාලිගයේ සිටි රාජ කුල ස්ත්‍රීයකට දාව උපන් පුතෙකු වූ "මැණික් හාමි" කුමරයා සකල කලා වල්ලභ රජු ගෙන් තමන්ට රජකම නොලැබෙන බව දැන, පියරජු මරණයට පත් කිරීමේ අදහසින් රජු දිය නාන පතහා පොකුණේ යකඩ උල් සිටුවමින් සිටියදී රාජපුරුෂයන්ට අසුවිය. කෙසේ හෝ සටන් කොට රාජපුරුෂයන්ගෙන් මිදී තම සේවකයා වන "වීරා" සමඟ පැන ගිය මැණික් හාමි කුමරා වීරාත් සමග සමනල කුළු දිය පර්වතයෙන් ඇද වැටි මරණයට පත් වීමෙන් පසුව, මැණික් හාමි "කළු යකා" බවට පත් විය. පසුකාලීනව කළුයකා "කළු කුමාර මැණික් හාමි" දෙවියන් ලෙසද, තම සේවක වීරා "වීරමුණ්ඩ" දෙවියන් වශයෙන් ද, පසු කාලිනව සකල කලා වල්ලභ රජු මිය ගොස් "අස්වානේ" දෙවියන් වශයෙන් ද ප්‍රසිද්ධියට පත්වුණු බව එකී පළාත්වල ජනතාවගේ විශ්වාසයයි.


කෙසේ කොහොම වෙතත් මිනිස් ජනාවාස ජනාකීර්ණවීමත් සමග කළු කුමාරයාගෙන් වන දෝෂ තරමක් මඟ හැරී ඇත. ගම්බද ඇත්තන් කළු කුමාර දෝෂයන්ට ලක්‌ වන තරමට නගරබද ජිවත් වන ඇත්තන් එම දෝෂයන්ට නතු නොවේ. නමුත් 100% නගරබද ඇත්තන් කළු කුමාර දෝෂයෙන් මිදී සිටිනවා කියා කීමත් සත්‍යයක් නොවේ. මන්ද අවස්ථාව ලද තැන කළුකුමාරයා විසින් තම ගොදුරට විණ කටිනු ඇත. එම නිසා ඒ ගැන අව්බෝධයෙන් පෙර විස්තර කල ආකාරයෙන් යහපත් ගුණධර්ම හා චර්යාවන් ගොඩනගා ගන්නා ස්ත්‍රීන්ට 100% කළු කුමාර දෝෂයෙන් මිදී ආරක්ෂාව සිටීමට හැකිවනු ඇත.

Comments

  1. නියමයි තව මේවාගෙ කතාවක් ඕනෙ...

    ReplyDelete
  2. Superb..👏♥️🌟❣️👌👌👌

    ReplyDelete

Post a Comment

Popular Posts