සූනියම් දෙවියෝ

 කන්ථක අසු මියගිහින් ඉපදුනේ සූනියම් දෙවි නමින්ද...?

සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ මත තිබේ. මේ දෙවියන්, වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක්‌ ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වේ.

සූනියම් දෙවියන් මිනිසාගේ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇත. මේ දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ඇති බව සඳහන්ය. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බවට ප්‍රකටය.

පුරපක්‌ෂයේදී දෙවියකු ලෙසද අව පක්‌ෂයේදී යක්‌ෂයකු ලෙසද ගමින් ගම දොරෙන් දොර සංචාරය කරමින් ලක්‌වාසීන්ගේ දුක - සැප, නඩු - අවනඩු සොයා බලන බවත් අසරණ ජනී ජනයාගේ සිත් පනත් සුවපත් වන ආකාරයේ නිසි විසඳුම් මෙකී දෙවියන්ගෙන් ලැබෙන බවත් පොත පතේ සඳහන්ය.

සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම්බිම්වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණකි. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් බැතිමතුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතී.

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්‌ම ගියේ කන්ථක නම් අශ්වයා රැගෙනය. කන්ථක අශ්වය ලය පැලිලා මිය යැමෙන් පසු සූනියම් දෙවියන්ගෙ නාමයෙන් දේවත්වයක්‌ ලබා පුද සත්කාර ලබන බව පැරණි දේවකතාවල සඳහන් ය. සූනියම් දෙවියන් ගමන් බිමන් යැමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙකි. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ බැල්ම ඇති බව ජනයාගේ විශ්වාසයකි. අශ්වයන් හට ගසා ඇති ලාඩම් ඉබේ හැලී ගිය පසු ඒවා රැගෙන පිරිසුදු කොට ජීවම්කර නිවෙස්වල, ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලයි.

මේ එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවී සූනියම් දේවතාවුන්ගේ ආරක්‌ෂාව ලැබෙන බවට ඇති විශ්වාසයක් වේ.සූනීයම් දෙවියෝ....

 

මුලින් යක්‍ෂාත්මයක් ලැබ පසුව දේවත්වයට පත්වූයේ යැයි පැවසෙන සූනියම් දෙවියන් පුර පක්‍ෂයේදී දෙවියෙකු ලෙසත් අවපක්‍ෂයේදී යක්‍ෂයෙකු ලෙසත් සලකණු ලබයි. සූනියම් දේවතාවා කතරගම දෙවියන්ගේ පරිවාර සේනාවේ සේනාධිපති ලෙසත් දේවතා බණ්ඩාර දෙවියන්ගේ අධිකාරම් ලෙසත් උපුල්වන් දෙවියන්ගේ පණිවිඩ කරු ලෙසත් වැඩවසන බව පැවසේ. සූනියම යනු කෙනකුට අවැඩක් නපුරක් කිරීමය. අවැඩක් සූනියමක් කරන්නා යන අරුතින් සූනියම් දේවතාවා යන්න භාවිතයට පත්ව ඇත.


තුරඟ වාහනා රූඩව සිටින සූනියම් දෙවියන් ඔඩ්ඩිකුමාර ගම්භාර දෙවි සූනියම් යකා යනුවෙන්ද හඳුන්වනු ලබයි. අමනුෂ්‍ය බලවේග මගින් මනුෂ්‍යන් ලෙඩ කරවීමට උපද්‍රව ඇතිකිරීමට වරම් ලබා ඇතැයි පැවසෙන සූනියම් දෙවියන් සඳහා ලංකාවේ බොහෝ ස්ථානවල දේවාල ඉදිකොට ඇති අතර නිවෙස්වල සූනියම් දෙවියන්ට පහනක් දැල්වීමට ගම්මු පුරුදුව ඇත. ගමින් ගමට


ගෙයින් ගෙට සංචාරය කරමින් ජනතාවගේ දුකට පිහිටුවන බවත් නඩු අවනඩු සොයාබලමින් යහපත් අයට හොඳ ප්‍රතිඵලත් අයහපත් අයට අනිසි ප්‍රතිඵලත් ඇතිකිරීමට සූනියම් දෙවියෝ පෙළඹෙති.


උතුරු ඉන්දියාවේ පඬුවස් දෙව්නම් රජ කෙනකුට දාව උපන් කුමරෙක් ලෙස සූනියම් දෙවියන් එක් තැනෙක සඳහන් වේ. මෙම රජුගේ බිසව සේරීන් නම්වූ බවත් සූනියම් දෙවි මේ දෙදෙනාගේ පුතෙකුන් බව කෝල්මුර ගායනාවලද සඳහන්වේ. රාජ ඔඩ්ඩිස නමින් ලොව පහළවන සූනියම් දෙවි ඔඩ්ඩීස නම් දේශයේදී යදම්බරීනම් බිසවකගේ කුස පිළිසිඳ ගෙන ඇත්තේ ඔඩ්ඩි රජුට දාවය. දහසයවන වියට පාතබන ඔඩ්ඩිස කුමරා සිය පියරජුන් කඩුවෙන් කොටා මරා ඉන් පසුව ඔඩ්ඩි දේශයට පැමිණ වඩිග රජුද මරා දමයි. අනතුරුව වෙසමුණි රජ හමුවන ඔඩිඩීස තමන් රජතුන්කට්ටුවක් මරාදැමූ බව වෙසමුණි රජු සමග පවසා තමන්ට මනුෂ්‍යයන්ගෙන් බිලිපුද ගැනීමට වරම් ඉල්ලා සිටී. එසේ වරම් ලබන සූනියම් දෙවි රාජ ඔඩ්ඩිස ලෙසින් ප්‍රසිද්ධියට පත්වෙයි. අනතුරුව හිරන්ද නම් වනයට පැමිණ සිය වාසභවනය සඳහා තුඹසක් යොදාගත් බව පැවසේ.


සත්ජන්ම නමින් හැඳින්වෙන සූනියම් දෙවියන්ගේ ජන්ම හත විවිධ වෙනස්කම්වලින් යුක්තය. අදින්ත කුමාර‘ සූනියම් යකා’ නාග ඔඩ්ඩිස’ සන්නි ඔඩ්ඩිස’ වෙළෙඳ ඔඩ්ඩිස’ සූනියම් දේවතාවා’ ගරුඬ කුමාර යනුවෙනි.


උතුරු ඉන්දියාවේ දෙවිනුවර නම්පුර පඬුවස් දෙව් රජුගේ බිසව ජල ක්‍රීඩා පිණිස රජුගේ මඟුල් පොකුණට ගිය අවස්ථාවේ එහි සුපිපි නෙළුම් මලක් දැක එම නෙළුම් මලේ සුවඳ විඳගත් බිසවට අපූරු දොළක් උපදියි. එම දොළනම් නාගයන්හා සංවාසයේ යෙදීමයි. සිය සැමියාට රහසින් ඇය එම දොළ සංසිඳුවා ගනී. මෙය දැනගත් රජු විමතියට පත්ව මෙම සිදුවීම පිළිබඳව පෙරෙවි බමුණන් ගෙන් විමසයි. බමුණන් රජුට දන්වා සිටියේ බිසවුන්ට සර්පයන් හා සංවාසයෙන් මහා බලසම්පන්න පුතෙකුන් ලබන බවයි. මෙසේ සෙරීන් බිසවගේ කුසින් උපන් කුමරා නාගයන් ඇසුරු කිරීමෙහි ලෝලියකුවූ අතර ලේ පොළඟෙකු විකා ලේ බීම හේතුවෙන් සූනියම් දෙවියන් ලෙස බලවත් වුණ බව ජනප්‍රවාදයේ පවතී.


ගම්මඩු ශාන්ති කර්මවලදී පත්තිනි දෙවියන් උදෙසා කරනු ලබන දලුමුර පූජාවේදී කෝල්මුර කවි ගායනා වලින් සූනියම් දේවතාවා පඬුවස් රජුන්ගේ පුතෙකුන් බව සනාතවේ.


දා වෙමින් නුවර පඬුවස් නිරිඳුන් ට

තේ ජසින් කුරග වාහන වැඩ ඉන් ට

මා විසින් කියන දේ ඉටු කර දෙන් ට

සූනියම් දේවතාවෙනි පිං ගන් ට


(දේව පුරාණය 452 පිට)


සුර අසුර යුද්ධයේදී සුරයන්ගේ ශක්ති හීනවූ අවස්ථාවක ඊශ්වරයන් මහාකෙළනම් නාරජුන් මහාමේරුව වටා ගමන් කරමින් එක්රැස් කළ සර්ප විෂෙන් ගුලියක් තනා එම ගුලිය ගිල පිටකළ විසඳුමෙන් සූනියම් දේවතාවා ලොව පහළවුන බවද පැවසේ. මල්වත්තේ බණ්ඩාර දෙවියන් නමින් හඳුන්වනු ලබන සූනියම් දේවතාවුන් පිච්ච මල් සුවඳින් යුක්තව රාත්‍රී කාලයේ ගම්වල සංචාරය කරන බවද පැවසේ. ගම්වල සංචාරය කරන සූනියම් දේවතාවන්ට හසුවන සුනඛයන් සූනියම් දෙවියන්ගේ අතැති සෝලු ලීයෙන් පහර කෑමට ලක්ව මියයන බවද ගම්මු විශ්වාස කරති.


අතීතයේ පටන් පැරන්නන් රාත්‍රී කාලයේ තම නිවස ඉදිරියේ මල් පැලක් තනා පහන් දල්වා තම තමන්ගේ දුක් ගැනවිලි සූනියම් දෙවියන්ට කීමට පුරුදුව සිටිති. ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කිරීමට භාරව සිටින නාථ විෂ්ණු කතරගම පත්තිනි ආදී සිව්වරන් දෙවිවරු මෙන්ම සූනියම් දෙවියන්ට ඇත්තේ සුවිශේෂී බවකි.

Comments

Post a Comment

Popular Posts