මහසෝනා...

 

වෙසමුණි රජු අවසරයෙන් සොහොනට අරක් ගත් මහසෝනා..

 

මහසොහොන් යක්‍ෂයාගේ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුළු ශරීරයම වෙව්ලීමට ගනී. මුළු ශරීරයම වේදනාවෙන් පිරී යයි. බෙල්ල කෙලින් කිරීමේ අපහසුව ඇතිවේ. අධික පාචන ස්වභාවයක්ද මොවුන් තුළින් දිස්වේ. මෙම මහසොහොන් යක්‍ෂයා පහරදී ඇතිවන සංකූලා සුව කිරීම ඉතා අපහසුය.
අන්න අර මනුෂ්‍යයාට කනත්ත ළඟින් යද්දි මහසෝනා ගහලා මහසෝන් දිෂ්ටිය වැහිලා‘ යැයි ඇතැමුන් කියන බව ඇතැම් විට ඔබ අසා ඇත. විශේෂයෙන් මේ තත්ත්වය ඈත පිටිසර ගම් නියම්ගම්වලින් සමහර අවස්ථාවලදී අසන්නට ලැබීම සුවිශේෂිය. මහසෝනා මහසෝන් දිෂ්ටිය ගැන කතා කරද්දී මේ මහසෝනා හෙවත් මහසෝන් දිෂ්ටිය ගැන සොයා බැලීම වටි. මහසෝනා ගැන කතා කරද්දී කිසියම් අයකුගේ සිතට නැ‍ෙඟන චිත්ත රූප නම් අතිභයංකාරය.

මහසෝනා ඉතා භයානක රුදුරු එසේම රක්ත වර්ණයෙන් සැරසී හෙල්ලයක් වමතින් ගෙන බලවත් යකුන් පිරිවරා ඌරකු සිය වාහනය ලෙස ගෙන ගමන් කරන බව කියන්නේ යක්ෂ සේනාධිපතියකු ලෙසය.

මහසෝනා ගැවසෙන ස්ථාන කුමක්ද? සොහොන් පිටි, අසුබ එමෙන්ම අපිරිසිදු පාළු ස්ථාන, ඝන කැලෑ, තුන්මංසල, දෙමංසල මෙන්ම ඌරන් ළගින ස්ථානවල මහසෝනා ගැවසෙන බව ප්‍රකටය. මහසෝනා විශේෂයෙන්ම ගැවසෙන ස්ථාන වන්නේ ඝන කැලෑය. එම ඝන කැලෑවල මහසෝනා සිය අණසක පතුරුවමින් සිටින්නේ වෙනත් කිසිවකුට තම ප්‍රදේශයට ඇතුළුවීමට ඉඩ නොතබමිනි.

මහසෝනා සිය අණසක පැතිරවීම සඳහා උපයෝගී කරගන්නේ අලුයම සහ ගොම්මන් කාලයයි. මේ කාලය මහසෝනාගේ හැසිරීම ගැනද කිව යුතුය. එම කාලයේ තනිව ගමන් කරන අයකු මාංස, තුඩ මසුන් වැනි පිළි රැගෙන යන අය විශේෂයෙන් සොහොන් අසලින් ගමන් කරන අය මහසෝනාගේ බැල්මට ලක්වුවහොත් ඔවුනට මහසෝනාගෙන් පහර කෑමට ලක්විය හැකිය. මේ අවස්ථාවේදී මහසෝනාගේ ඇල්මට බැල්මට ලක්වන අයට ඇතැම් විට ජීවිතය පවා නැති විය හැකිය.මහසෝනාගේ උපත දුටුගැමුණු රජ සමයේදී සිදුවුණි. පසුකාලීනව මහසෝනා වූයේ දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි රිටිගල ජයසේන නම් යෝධයාය. රිටිගල ජයසේන දුටුගැමුණු සේනාවේ සිටි ශක්තිමත්ම යෝධයාද වේ. ඔහු කිසිදු සටනකින් පරාද වී නැති අයෙකි. එම සේනාවේම ගෝටයිම්බර යෝධයාගේ බිරිඳ සෝනා කුමරිය සමග හාදවීම හේතු කොට ගෙන ගෝටයිම්බර, රිටිගල ජයසේන සමග සටන් කළහ. එම සටනේදී ගෝටයිම්බර දුන් පා පහරින් රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වී කරඳ ගසක රැඳුනි.

රිටිගල ජයසේනගේ මිතුරකු වන සෙනසුරා රිටිගල ජයසේන ජීවත් කරනු පිණිස වලසකුගේ හිසක් ගෙනැවිත් රිටිගල ජයසේනගේ කඳට සවි කළහ. බියවී තැතිගැන්වී සිටි සෙනසුරා එම වලස් හිස ජයසේනගේ සිරුරට සවි කළේ මුහුණ පිටුපසට සිටින සේය. සෙනසුරුගේ මෙම කාර්ය හේතුවෙන් මියනොගොස් ජීවය ලැබූ රිටිගල ජයසේන වලස් හිසක් හා මිනිස් සිරුරක් ඇති විරූපී අයකු බැවින් අමුසොහොනට ගොස් සැඟවී ජීවත් විය. එම සැඟවුණු රිටිගල ජයසේන මියගොස් මහසෝනා වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

මහසෝනා උසින් මී. 37 කි. ඇස් 4ක් හා අත් 4ක් සහිතය. සම කළු රතු පැහැතිය. දකුණු අතේ ගෙන යන මී හරකුගේ රුධිරය පානය කරන අතර වම් අතේ හෙල්ලක් වේ.

මහසෝනාගේ වාහනය යෝධ ඌරෙකි.

සුසාන භූමි, කඳු මුදුන්, ගිරිහෙල්, සුසාන භූමි තුංමංහන්දි මැද මහසෝනා සැරිසරයි. මීට අමතරව නාන තොටවල්වල හා හතරමංහන්දිවල ද මහසෝනා නිතර ගැවසෙන ස්ථාන වේ.

මධ්‍යම රාත්‍රියේ හා පාන්දර ජාමයේ වීදි සංචාරය කරන අයට මෙම ස්ථානවලදී මහසෝනා හමුවීම සිදුවේ. මහසෝනා මනුෂ්‍ය ශරීරයක් දුටු විගස එම ශරීරයට ඇතුල් නොවේ. මුලින් ඔහු බියවද්දා, එම බියවැදී දුවන පුද්ගලයාගේ ශරීරයට මහසෝනා ඇතුල්වේ. ඇඟට ඇතුල්වීමට පෙර බියවැදුනු පුද්ගලයාගේ උරහිස් අල්ලා පොඩි කරයි. එවිට එම උරහිස් මත නිල් පාටට ඇඟිලි පහක සලකුණක් ඇතිවේ. එම පුද්ගලයාට මහසෝනා ගහලා යන්න ඥාතීන් දැන ගන්නේ එම සලකුණු වලිනි. මහසෝනා නිතර ඇස ගැටෙන්නේ පිරිමි පුද්ගලයන්ට වීම විශේෂයකි. ස්ත්‍රීන්ට මහසෝනාගෙන් කරදර නැති තරම්ය.බොහෝ යක්‍ෂයන් හා ප්‍රේතයන් මන්ත්‍ර බලයෙන් නූල්වල ගැට දමා සිර කළ ද මහසෝනා එවැනි මන්ත්‍ර මගින් සිර කළ නොහැක. මහසෝනාට පිදේනි දී, මහසොහොන් සමයම නැටීම හා ගෝටයිම්බර දැහැනට පමණක් මහසෝනා අවනත කරගත හැක. එසේ වී ඇත්තේ වෙසමුනි රජුන් මහ සොහොනාට මිනිස් බිලි ගැනීමට අවසර දුන් හෙයිනි. මිනිස් බිලි වෙනුවට කුකුල් බිලිද මහසෝනා බාරගනී. එනිසා යකදුරන් ආතුරයා බේරා ගැනීමට මහසෝනාට කුකුල් බිලි පිදීම සිදු කරයි.

ඊශ්වර දෙවියන්ගේ ගෝලයෙක් ලෙස සැලකෙන භෂ්ම සූර්යා හෙවත් මහසෝනාට අවතාර 5ක් ඇත. ලේ මහසෝනා, අමු මහසෝනා, ජය මහසෝනා, මරු මහසෝනා හා ගොළු මහසෝනා එම පස්දෙනා වේ.

ලේ මහසෝනා හෙවත් ලේ සොහොන් යකාගේ වාහනය එළුවකු වන අතර අමු මහසෝනා හෙවත් අමු සොහොන් යකාගේ වාහනය මුවකු වේ. ජය මහසෝනා හෙවත් ජය සොහොන් යකාගේ වාහනය අශ්වයකු වන අතර මරු මහසෝනා හෙවත් මරු සොහොන් යකාගේ වාහනය බැටලුවකු වේ. ගොළු මහසෝනා හෙවත් ගොළු සොහොන් යකාගේ වාහනය ඇතෙකි.

විවිධ සතුන්ගේ පිට මත විවිධ වෙස් ගෙන දෘෂ්‍යමාන වන මහසෝනා ඉතා භයංකාර, ත්‍රාසජනක යක්ෂයෙකි. කොලරාව හා අතීසාරය සෑදුනු රෝගීන්ට මහසෝනාගේ බැල්ම වැටීම සිදුවේ. එනිසා මෙම රෝගීන්ට ඖෂධ ලබාදීම මෙන්ම ආරක්‍ෂා කර ගැනීමද සිදුකළ යුතුය. සොහොනක් පසු කිරීමේදී විනෝදයටවත් මහසෝනාගේ නම නොකීමට පැරැන්නන් වගබලා ගත්තේ මෙම යක්‍ෂයා එනම් මහසොහොන් යක්‍ෂයා හෙවත් මහසොහොන් දේවතාව එතරම්ම බිහිසුනු බැවිනි. පිටුපසින් පැමිණ බියවද්දා පහර දුන් පුද්ගලයාට බොහෝ විට සිදුවනුයේ මිය යෑමයි.


Comments

Post a Comment

Popular Posts